මගේ කතා නිසා සමහරු හිතුවා, අම්මෝ මංගලගේ කතා නිසා අපි පරාද වෙනවා කියලා

රටේ ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය තුළ සමගි ජන බලවේගයටත් විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට බැරිවීම මට විශාල ප්‍රශ්නයක්

මේ රටේ විකල්ප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වෙන්න තරම් දැක්මක් සමගි ජන බලවේගයට නෑ

එජාපයේ හිටිය හොඳම පිරිසක් පක්ෂයෙන් බැහැරවීමට හේතුව ඔය වජිර අබේවර්ධන වගේ අය

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායමේ නායක හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බව ප්‍රකාශකර තිබේ. ඒ ඇයි? මේ ඒ ගැන ඒ මහතා විමසමින් ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කළ සාකච්ඡාවකින් උපුටා ගත්තකි.

ප්‍රශ්ණය - 2015 දී මහින්ද රාජපක්ෂ පරාජය කරලා සතියකින් ඔබ සමග සම්මුඛ සාකච්ඡාවක් කළ මොහොතෙදි ඔබ කිව්වේ ‘‘මීට පස්සේ මැදමුලනෙන් බල්ලෙක්වත් නැවත පාර්ලිමේන්තු යන්නේ නෑ’’ කියලා. නමුත් අද රාජපක්ෂ ​පොකුරක් රට පාලනය කරනවා. ඔබ දේශපාලනිකව පරාදයි. ඒ නිසා ඔබ ඉවත් වෙනවා.??

ඇත්ත වශයෙන්ම එකත් එක හේතුවක්. ඒ අපේ වැඩපිළිවෙළ අසාර්ථක වුණා. 2015 දි රාජපක්ෂ බල යාන්ත්‍රණය මැර බලය සියල්ල යොදවපු වෙලාවක මේ රටේ ජනතාව අප කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මෛත්‍රීපාල සිරිසේන ගැන ලොකු විශ්වාසයක් තියලා, එක්සත් ජාතික පක්ෂය ගැන ලොකු විශ්වාසයක් තියලා අපට විශාල ජන වරමක් ලබාදුන්නා. ඒ විශ්වාසයට යටත්ව අපි සෑහෙන වැඩ කොටසක් කළත් අපි නොකරපු දේවල් නිසාම ඒ රැල්ල වෙන පැත්තකට ගියා. ඒක රාජපක්ෂලාගේ දක්ෂකමකට වඩා අපි විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මේකට වගකියන්න ඕන. අර තරම් විනාශයක් කරපු රාජපක්ෂලා යළි වතාවක් බලයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මිසක් වෙන කවුරුවත් නොවෙයි.