නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) උදෑසන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් තිබේ.

ඉන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ බන්ධනාගාර අධිකාරීවරුන් සමඟ සාකච්ඡාවකට ද නීතිපතිවරයා සම්බන්ධ වු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසීය.

ඒ අනුව බන්ධනාගාරවලින් මේ වන විට අවම ඉඩකඩ සහිතව ගැටළු රැසක් පවතින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට එතුමාට හැකි වු බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ වන විට බන්ධනාගාර ගත සිරකරුවන් 6000ක් පමණ සිටින නමුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත සිරකරුවන් ප්‍රමාණය 17,500 ඉක්මවා ගොස් ඇතැයි ද ඔහු කියා සිටියේය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සභාව අමතමින් පවසා සිටියේ, රාජකාරි කටයුත්තක් සඳහා බන්ධනාගාරයක සංචාරයකට එක්වු පළමු නීතිපතිවරයා වශයෙන් තමා ආඩම්බර වන බවයි.බන්ධනාගාර පද්ධතිය තුළ අවංක නිලධාරීන් පිරිසක් බිහි කළ යුතු යැයි පැවසු නීතිපතිවරයා මහජනයාට බන්ධනාගාර කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවද පැවසීය.

දූෂිත නිලධාරීන් හඳුනා ගැනීම අභියෝගයක් වන බවද පැවසු නීතිපතිවරයා, අද වන විට බන්ධනාගාර අපරාධ පිටියක් බවට පත්ව ඇති බවත් ඇතැම් නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පැවසීය.