පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව එරට ක්‍රිකට් කමිටුව තහවුරු කර තිබේ. පාකිස්ථානු ක්‍රිකට් කමිටුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ Haider Ali, Shadab Khan සහ Haris Rauf යන ක්‍රීඩකයින්ට මෙලෙස එම වෛරසය ආසාදනයවී ඇති අතර ඉරිදා දින රාවල්පිණ්ඩිහිදී සිදු කළ  පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙය තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් මොවුන්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් සඳහන් වේ. ඒ අනුව ලබන අගෝස්තු මාසයේදී එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය මොවුන්ට අහිමිවනු ඇති බව ද වාර්තා වනවා.

ඉමාඩ් වසීම් සහ උස්මාන් ෂින්වාරි යන ක්‍රීඩකයින් ද පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඔවුන්ට වෛසරය ආසාදනයවී නොමැති බව පාකිස්ථාන ක්‍රිකට් කමිටුව වැඩිදුරටත් කියා සිටී. මේ අතර පසුගිය සතියේදී එරට හිටපු ක්‍රීඩකයෙකු වන ෂාහිඩ් අෆ්රිඩිට කොරෝනා ආසාදනයවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර හිටපු ආරම්භක පිතිකරු ටවුෆීක් උමර් ද ආසාදනයට ලක්වූ අතර මේ වන විට ඔහු සුවවී ඇත.