මැතිවරණයේදී අපේක්ෂකයන්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිදු ස්ථානයක පෝස්ටර්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (22දා) වව්නියාව දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැති ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ විධිවිධාන යටතේ තමයි මේ පෝස්ටර්, ඡායාරූප , බැනර්, කටවුට් මාර්ගවල තැන් තැන්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කරල තියෙන්නේ. නමුත් අපේක්ෂකයන්ගේ කාර්යාලවල පක්ෂයේ නම, සිම්බල් එක එහෙම නැත්තම් සලකුණ, ස්වාධීන කණ්ඩායම්වල ඒ කණ්ඩායම එහෙම නැත්තම් ඒ හඳුනා ගැනීමේ අංකයත් එහි ලකුණත් ප්‍රදර්ශනය කරන්න පුළුවන්.

වර්ග අඩි 40ක ප්‍රමාණයක සිංහල හා දෙමළ භාෂා දෙකම පාවිච්චි කරනවනම් එය වර්ග අඩි 50ක් වීමට හැකියි. එය පමණයි එකම නිත්‍යානුකූල කටවුට් එක වන්නේ. ඒ වගේම කටවුට් ගහන්න පුළුවන් අපේක්ෂකයෙකුට ඕනෑම රැස්වීමක් පැවත්වෙන වෙලාවක රැස්වීම් දිනයේදී රැස්වීම් පැවත්වෙන ස්ථානයේ පමණයි. රැස්වීම් පිට්ටනියක පැවත්වෙනව නම් පාරේ කටවුට් ගහන්න බැහැ. එයයි නීතිය.

ඒ වගේම මන්නාරම හා මුලතිව් අවතැන් වූවන්ට පුත්තලමේ තවමත් ඉන්න අය වැනි 3000ත් 4000ත් අතර පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන පවත්වන්න අපට සිදුවෙලා තියෙනවා. ඒ වගේම මන්නාරම් හා පුත්තලමේ ඡන්ද දායකයන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල  පදිංචිය අනුව ඡන්දය දැමීමට සිදුවෙනවා.