ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ පරිගණකය වහාම මුදාහරින ලෙස ජාත්‍යන්තර සී. පී.ජේ. නමැති මාධ්‍ය සංවිධානය රහස් පොලිසියෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
 ‘‘මෙය නඩු භාණ්ඩයක්. පරිගණකය අයිති දරීෂා බැස්ටියන් නමැත්තිය තමයි, මාධ්‍යවේදිනියක් සතු ජංගම දුරකථනය ගානියා ප‍්‍රැන්සිස්ට ලබා දුන්නේ. ඇය එම ජංගම දුරකථනය මගින් මෙරටින් පැන ගිය පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට සහ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර අමතා තිබෙනවා’’ යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
 
 ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන යෑමේ සිද්ධිය මුළුමනින් ම බොරු රඟපෑමක් බව මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
 
 දරීෂා මෙන් නිශාන්ත සිල්වාත් මෙසේ මෙරටින් පැනගියේ මේ බොරු සැලසුම හෙළිවීම නිසා යැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.
 
 මේ අතර කාන්තාවන් සිව්දෙනකු එකතු වී ජනපති ගෝඨාභය රාජපක්‍ෂ අපරාධ කළ බවට බොරු ප‍්‍රචාර දියත් කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ අතර එහි එක් අංගයක් මෙම බොරු පැහැරගැනීමේ සැලසුම බව හෙළි වී ඇත.
 
 මින් එක් කාන්තාවක් ද්‍රවිඩ සංධාන හිටපු මන්ත‍්‍රීවරයකුගේ කාර්යාලයේ සේවය කරන බව අනාවරණය වී තිබේ.

දිවයින