2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානය තුළ නීති විරෝධී ලෙස ටී-56 ගිනි අවි සහ උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කේ. පටබැඳිගේ විසින් ඊයේ (01වැනිදා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

වසර දහයකට ආසන්න කාලයක් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ටී - 56 ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට අමතරව අත් බෝම්බ 50 ක් සහ ජීව පතුරම් 210 ක් ළඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියලු චෝදනාවලින් උන් වහන්සේව නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩි දුරටත් නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් වන මාවෙල සුබෝධ හිමි, එම්. රාජ බාලන්, කේ. තමිල් සෙල්වම් සහ සන්දනම් සුබ්‍රමනියම් යන විත්තිකරුවන් මීට පෙර ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබිණි.