මෙම වසරේ අගෝස්තු මස විවෘත කිරීමට සැලසුම් කර තිබුනද covid-19 ව්‍යාප්තිය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම නිසා කොළඹ වරාය නගරයේ  වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීමට කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

කිලෝමීටර් 1.5 කට ආසන්න දිගින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය සකස් කෙරෙමින් පවතින අතර වෙරළ ක්‍රීඩා  අංගණයක්, වෙරළ උද්‍යානය, ළමා උද්‍යානය, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා වලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි. මුහුදු මට්ටමේ සිට මීටර් 4 1/2 ක උසකින් යුක්තව සහ කිලෝමීටර් 3.2 ක දිගකින් යුත් දියකඩනයක් යොදා විශාල මුහුදු රළින් වෙරළ සීමාව ආරක්ෂාකර ඇති නිසා දියකඩනය ඇතුලත මුහුදු සීමාවේ දිය නෑමට, වෙරළ ක්‍රීඩාවල  නිරතවීමට, ජල ක්‍රීඩාවල නිරතවීමට හැකියාව ලැබේ.

ගාලු මුවදොරට විවේකය ගතකිරීමට පැමිණෙන ජනයාට වරාය නගරයේ වෙරළට පාගමනින් පහසුවෙන් ලඟාවීමට පිවිසුම් මාර්ගයක්ද ඉදිකෙරෙමින් පවතී.