ඉකුත් යහපාලන රජය සමයේ තමන් සහ තම ව්‍යාපාර ජාලය දේශපාලන පළිගැනීමකට ලක්වු බවට ඇවන්ගාඩ් මැරියන් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගොනුකර තිබු පැමිණිල්ලට අදාළව ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු පාර්ෂව 17කට ජනාධිපති කොමිසම විසින් පසුගියදා නොතිසි නිකුත් කෙරුණි.

ඒ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව 17ක් සඳහාය.

කෙසේ වෙතත් අද දින පැමිණිල්ල කැඳවු අවස්ථාවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පාර්ෂව කිහිපයක් පමණි.

එහිදී ජනාධිපති කොමිසමේ නිලධාරියෙකු කොමිෂන් සභාවට දැනුම් දුන්නේ පළමු වගඋත්තරකරු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ලිපිනය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන වගඋත්තරකරුවන් අදාළ ලිපිනයන්හි මේ වන විට පදිංචිව නොමැති බවය.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ රජයේ ජේෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර යන වගඋත්තරුවන්ට නොතිසි භාර දී ඇතැත් ඔවුන් අද දින කොමිසම හමුවට පැමිණ නොමැති බවද අදාළ නිලධාරියා සඳහන් කළේය.

එහිදී ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට දැනුම් දුන්නේ අදාළ තිදෙනාට එරෙහිව කොමිසම් සභාවට අපහාස කිරීමේ වරදට දඬුවම් නියම කිරීමට පෙර නැවත වරක් අවසන් වරට නොතීසි නිකුත් කරන ලෙසය.