හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය.

(26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තොණ්ඩමන් මහතා අභවප්‍රාප්ත විය.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යයමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි  ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වය ආරුමුගන් තොණ්ඩමන් මහතාට හිමිවිය.

1964.05.29 දින උපත ලැබු ආරුමුගන් තොණ්ඩමන් මහතා කොළඹ රාජකිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර  1994 වසරේ නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වු අතර එදා සිට අද දක්වාම පැවති රාජයන් වල විවිධ අමාත්‍යය ධුරයන් දැරිය.

අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර (28) දින දේහය පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව දේහය කොළඹ  03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමටයි අවමංගල කමිටුව තිරණය කර ඇත්තේ.

(29) දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් එදින තැන්පත් කර (30) දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත රැගෙන විත් තැන්පත් කර (31) දින ආරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු රාජ්‍යය  ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය පවසන්නේ.

මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව වතුකරයේ කිසිදු වතු කම්කරුවෙකු (27) දිනයේ දෛනික රාජකාරි කටයුතු වලට වාර්තා නොකල අතර (26) දින රාත්‍රියේ සිටම වතු කම්කරුවන් පදිංචි නිවාස වල සහ වතු මාර්ග වල සුදු කොඩි වලින් සරසා තොණ්ඩමන් මහතාට ගෞරව දැක්විමට වතු කම්කරුවන් කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ